Wednesday, 21 June 2017

පෙම්වතිය ගේ අක්කා හමුවීම - Destiny


රනුක ද, අක්කා ද වාඩි වී සිටියහ. ඒ මුහුණට මුහුණට ලා නොව, කුඩා ටීපෝවක් වටා තබා තිබුණු ඒ සුවපහසු පුටු හතරෙන් එක ළඟින් තිබූ පුටු දෙකක ය.

ඒ නිවසක විසිත්ත කාමරයක් නොවේ. අගනුවර රජයේ ආයතනයක අමුත්තන් පිළිගැනීමේ ශාලාව ය.

ඒ රනුක ගේ අක්කා නොවේ. ඇය රනුක ගේ පෙම්වතිය ගේ අක්කා ය.

"මං අක්කට ඔයා ගැන කිව්වා. එයාට ඕනැ ලු ඔයාව බලන්න" ශිරාණි එවූ ලිපියක කියා තිබුණි. "ඔයාට මං කියල තියෙනවා නේ එයා වැඩ කරන්නේ කොළඹයි කියලා. සතියේ දවසක ඔෆිස් එකට ගිහින් අක්කාව පොඩ්ඩක් හම්බ වෙන්න. සෙකුරිටි ගේට්ටුවෙන් එතැන ලොකු බිල්ඩිම ඇතුළට ගිහින් රිසෙප්ෂන් එකට අක්කා ගේ නම කියන්න. එතකොට එයා ඒවි."

ශිරාණි රනුක ප්‍රේමය ඒ දිනවල ගලා ගියේ මසකට හෝ දෙකකට වරක් වූ සුන්දර හමුවීමකින් ද, ඒ අතරේ සතියකට දෙවරක් පමණ හුවමාරු වූ පෙම් හසුන් ද හරහා ය.

ජීවිතයේ සැබෑ කතාව

ඔබ නැතිනම් මා සනසාලන්නට
සැතපුම් සියයක් එපිට දෙසේ සිට
එවන හසුනකින්
සීතල වැඩි වී
රුධිරය ගල් වී
මා මියගොස් දිගු කලක් විය යුතුයි

ඔබ මට දිරියකි
ඔබ මට සවියකි
ඈත එපිට සිට ගෙන එන්නේ
කුරිරු ලෝකයේ රුදුරු බවින් මා
මුදවා ගෙන සනසාලන්නේ

පෙළකට ඈඳුණු පබළු වැලක් සේ
අකුරු පිරුණු සෙනෙහසේ හසුන් පත්
මවෙත ලැබෙන සඳ
මුළු ලෝකෙම දේ අමතක කරලා
සිනා නැගිය හැක

ලොව සොඳුරුම දේ ආදරයයි!


ඒ රනුක ඒ දිනවල ලියූ කවියකි.

"ඉතිං මල්ලී, ඔයාට කොහොමද නංගීව මුණ ගැහුණේ?" අක්කා ඇසුවා ය.

"මෙන්න මෙහෙමයි වුණේ අක්කේ" රනුක පිළිතුරු දුන්නේ ය.

"මම එදා සෙනසුරාදා දවසේ ටවුමට බස් එකේ ගිහින් බැහැලා පේව්මන්ට් එක දිගේ උඩහට ඇවිද ගෙන ගියා. මං ඉස්සරහට එන දෙනෝ දාහක් සෙනග අතරේ මං ශිරාණියි එයාගේ යාලුවයි දෙන්නා එනවා දැක්කා. ශිරාණි මගේ මුණ ඉස්සරහට ම ආවාම මගේ හිත එකපාරටම මට කිව්වා මේ තමයි මට ගැලපෙන කෙනා කියලා."

"මං තත්පරයකින් දෙකකින් විතර ආපහු හැරිලා බස් හෝල්ට් එක දිහාවට ඇවිදින්න පටන් ගත්තා. මං දැක්කා ශිරාණි එතැන නවත්තලා තිබුණු බස් එකකට නගිනවා. මාත් ඒකට නැගලා, එයා ළඟින් වාඩි වෙලා, එයාට කතා කළා."

"එච්චරයි!"

අක්කා අති සුන්දර සිනහවක් පෑවා ය.

නිමි.

-රසිකොලොජිස්ට්

ප/ලි:
මේ ඉයන් ප්‍රනාන්දු ගේ "සම්බෝල කෙටිකතා අභියෝගයට" මුහුණ දෙන්නට වස්තු බීජ සොයමින් "ඩවුන් ද මෙමරි ලේන්" ගිය ගමනක දී හමුවූවකි. සම්බෝල නොකර, අච්චාරු නොදමා, හිතට ආ දේ කෙළින් ම ලියා දැමුවෙමි.

(image: https://au.pinterest.com/pin/104497653827246884/)